
අනුවර්තනීය බුද්ධි වේදිකාව (Adaptive Intelligence Platform) — කෘත්‍රිම බුද්ධි නියාමක දැනුම් කළමනාකරණ පද්ධතිය වෙබ් සහ ජංගම වේදිකාව | 2026 ජූනි මාසයේ දී දියත් කෙරේ
පාර්ලිමේන්තුව සෑම වසරකම දහස් ගණනක් ලේඛන සකස් කරයි. පනත්, කාරක සභා වාර්තා, හැන්සාඩ් වාර්තා, අමාත්‍යාංශ ප්‍රකාශන, ගැසට් නිවේදන, අයවැය ලේඛන, ප්‍රතිපත්ති චක්‍රලේඛ ආදී වශයෙන් වූ මෙම ලේඛන පරිමාණය අතිවිශාල වන අතර, සෑම රැස්වීම් සතියකම පාහේ එම ධාරිතාව ක්‍රමයෙන් වර්ධනය වේ. ඒ සමඟ ම, ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍ය භූ දර්ශනය පුරවැසි පැමිණිලි, පාලන අසාර්ථකත්වයන්, නැගී එන අර්බුද, සහ සිය හඬ සභා ගර්භය තුළ එතරම් නියෝජනය නොවන ප්‍රජාවන්ගේ ගැටලු ඈ වශයෙන් වූ නිරන්තර පොදු මාතෘකා ප්‍රවාහයක් ජනනය කරයි. 66 දෙනෙකුගෙන් සමන්විත විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සංඛ්‍යාවට, ව්‍යවස්ථාදායක කටයුතු විවාදයට ලක් කිරීම, ඡන්ද කොට්ඨාශ කාර්යයන් කළමනාකරණය කිරීම, සහ රජය වගවීමට යටත් කොට තැබීම සිදුකරන අතරම මෙම තොරතුරු පරිමාවෙහි සැරිසැරීම යනු සුවිශාල අභියෝගයක් වේ. තීරණාත්මක ගැටළු නොසලකා හැරේ. කල්තබා කරනු ලබන අනතුරු ඇඟවීම් සහ ආන්තිකකරණයට ලක්වූ ප්‍රජාවන් කෙරෙහි වූ අවධානයද ගිලිහේ. සිදුවන දේ පිළිබඳව දැනුවත්ව සිටිමින්, ඉන් අදහස් වන දෙය අවබෝධ කරගනිමින් ඒ පිළිබඳව කාලෝචිත ක්‍රියාමාර්ග ගැනීමට ඇති හැකියාවේ මට්ටමට එයට සිය ව්‍යවස්ථාමය භූමිකාව ඉටු කිරීමේ හැකියාවද ශක්තිමත් වේ. අනුවර්තනීය බුද්ධි වේදිකාව යනු එම අභියෝගයට විපක්ෂ නායක කාර්යාලය ලබාදෙන ප්‍රතිචාරයයි. ශ්‍රී ලංකාවේ එදා-මෙදාතුර පාර්ලිමේන්තුවේ මෙන්ම අප දන්නා පරිදි සමස්ත කලාපයේමද මෙම වේදිකාව විපක්ෂයක ප්‍රථම කෘත්‍රිම බුද්ධි නියාමක දැනුම් කළමනාකරණ පද්ධතිය වේ. වේදිකාව විසින් කාර්යාලයේ පර්යේෂණ අංශය, 66 දෙනෙකුගෙන් සමන්විත විපක්ෂයේ සමස්ත මන්ත්‍රී කණ්ඩායම, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශාස්ත්‍රීය ලෝකය, මාධ්‍ය ආයතන, බුද්ධි මණ්ඩල සහ සාමාන්‍ය ජනතාවද යන සියලු අංශ තනි, ඒකාබද්ධ බුද්ධි සහ සන්නිවේදන පරිසර පද්ධතියකට සම්බන්ධ කරනු ලබයි. පාර්ලිමේන්තු අධීක්ෂණ කාර්යය වේගවත් කිරීමට, තීක්ෂණ කිරීමට, සහ වඩ වඩාත් සාක්ෂි මත පදනම් කිරීමට නිර්මාණය කර ඇති එය දැනුම් පදනමක් සහ කල්තබා අනතුරු ඇඟවීමේ යාන්ත්‍රණයක් ලෙස ද ක්‍රියාත්මක වේ. අන්‍යෝන්‍ය ව සම්බන්ධිත කාර්යයන් හතරක් ඔස්සේ පද්ධතිය ක්‍රියාත්මක වේ. පළමු කාර්යය ලෙස පනත්, කාරක සභා වාර්තා, හැන්සාඩ්, ප්‍රතිපත්ති ලේඛන ආදී වශයෙන් විහිදෙන සම්පූර්ණ පාර්ලිමේන්තු ලේඛන ප්‍රමාණය සකසා ඒවා මන්ත්‍රීවරුන්ට සහ පර්යේෂණ කාර්ය මණ්ඩලයට ක්ෂණිකව සොයාගත හැකි ලෙස සාරාංශගතව සහ විශ්ලේෂණාත්මකව ලබා ගැනීමේ හැකියාව ලබාදෙනු ලැබේ. කලෙක පැය ගණනාවක් පුරා අතින් විමර්ශනය කොට ලබාගත යුතුව පැවති කාර්යයක් ඒ අනුව දැන් තත්පර ගණනකින් ලබා ගත හැකිය. දෙවන කාර්යය ලෙස නැගී එන රාජ්‍ය පාලන ගැටළු, ජනතා දුක් ගැනවිලි හඳුනාගනිමින් සමාජ මාධ්‍ය සහ විවෘත මූලාශ්‍ර තොරතුරු ප්‍රවාහ තථ්‍ය කාලීනව අධීක්ෂණය කරන ඒ විසින් ආයතනික අසාර්ථකත්වයන් පිළිබඳ සලකුණු ඒවා අර්බුද බවට පත් වීමට පෙර ගෙනහැර දක්වනු ලබයි. ප්‍රතික්‍රියාකාරීව නොව ක්‍රියාකාරීව ගැටළු මතු කිරීමට කාර්යාලයට ඉඩ සලසන්නාවූ මෙකී කල්තබා අනතුරු ඇඟවීමේ කාර්යය ව්‍යවස්ථාමය ආරක්ෂකයෙකු ලෙස විපක්ෂයේ භූමිකාවේ කේන්ද්‍රීය ලක්ෂ්‍යයක් වේ. තෙවන කාර්යය ලෙස සෑම මන්ත්‍රීවරයෙකුටම වඩාත්ම අවශ්‍ය කරන මොහොතේ — එනම්, ඔහු කතා කිරීමට, ඡන්දය ප්‍රකාශ කිරීමට සහ ප්‍රශ්න ඉස්මතු කිරීමට පෙර — අදාළ පර්යේෂණ, ව්‍යවස්ථා පූර්වාදර්ශ, ප්‍රතිපත්ති විශ්ලේෂණ, සහ සංසන්දනාත්මක පාලන අත්දැකීම් වෙත ඔහු සම්බන්ධ කරමින්, එය විපක්ෂ මන්ත්‍රීවරුන් වෙනුවෙන් නිර්මිත සාමූහික දැනුම් පදනමක් ලෙස ක්‍රියා කරයි. සිව්වන කාර්යය ලෙස පාර්ලිමේන්තුවේ සිට ජනතාව දක්වා විහිදෙන සන්නිවේදන නාලිකාවක් එමගින් විවෘත කෙරේ. ඒ හරහා ශාස්ත්‍රීය පර්යේෂකයන්, මාධ්‍යවේදීන්, සිවිල් සමාජ සංවිධාන, සහ පුරවැසියන් හට— මෙම වේදිකාවේ වෙබ් අඩවිය සහ ජංගම අතුරු මුහුණත් ඔස්සේ — සභා ගර්භයෙන් ඔබ්බට පාර්ලිමේන්තු කාර්යයන් වෙත සැබෑ ලෙස ප්‍රවේශ්‍යතාවයක් ලබා දෙමින්, ශ්‍රේණිගත කරන ලද විපක්ෂ පර්යේෂණ, ප්‍රකාශිත විශ්ලේෂණ, සහ පාර්ලිමේන්තුවේ බුද්ධිමය තොරතුරුද ලබා ගත හැකිවනු ඇත. අනුවර්තනීය බුද්ධි වේදිකාව පාර්ලිමේන්තුවේ විපක්ෂයක් ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් ඇති කරන ලද මූලික වෙනසක් නියෝජනය කරයි. එ් විසින් ප්‍රතික්‍රියාශීලී ආයතනයක් ක්‍රියාකාරී ආයතනයක් බවට පරිවර්තනය කරනු ලබයි. ආන්තිකකරණයට ලක්වූ පුරවැසියන්ගේ හඬ ඉස්මතු කරනු වස් එම ජන කොටස්වලට අදාළ ගැටලු ග්‍රහණය කර, විශ්ලේෂණය කර, ඒවා සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට වඩාත් ම සුදුසු මන්ත්‍රීවරුන් වෙත ලබා දීමක්ද එහිලා සිදු කෙරේ. තථ්‍ය කාලීන විශ්ලේෂණ සහාය සම්පාදනය කිරීමෙහි ලා පර්යේෂණ අංශය සතු හැකියාවද එමගින් ශක්තිමත් කෙරේ. තවද, හුදෙක් ආණ්ඩුවට ප්‍රතිචාර දැක්වීමෙන් ඔබ්බට ගොස්, පාලනය, වගවීම සහ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණය පිළිබඳ වූ ජාතික සංවාදය මෙහෙයවන දැනුම් ආයතනයක් ලෙස එමගින් විපක්ෂ නායක කාර්යාලය ස්ථානගත කෙරේ. වේදිකාව 2026 ජූනි මාසයේ දී ආරම්භ කෙරෙනු ඇත.
